Sunday, January 15, 2012

අලුත් මලක්!

ආගන්තුක උණුහුමක්
පැතිරුණි උයන පුරාවට
මල් කැකුලියෝ කුතුහලෙන්
බලද්දී හරවමින් සිය රූමත් හිස්
අලුත් මල් කැකුලක් පිපී ඇත
උයන පිවිසුම අද්දරම...
රන්වන් සිනිදු පෙති
රතු දිදුලන තොල්
සිනහවක් බැබලෙමින මුවග
නැත කිසිදු කෝල බවක්
හිනැහුණි ඇය සැවොම සමගින්
දල්වමින් සිය නෙත්...
නොසතුටුව මේ ගැන
අන් මල් සියල්ලම
මුමුනන්ට ගති එකිනෙකා හා
තරහින්, ඉරිසියාවද සමගින්,
දකිමින්, මී මැසි සමනල්ලු
දැවටෙනු අලුත් මල අසලම...
පුංචි පිච්ච කැකුලිය උයන කොණ
බල සිටියාය එනතුරු
පුංචි සමනලයෙක්,
කෙතරම් මල් පිපුනත්
උයන පුරාවට,  හැම දිනම 
නැත ගියේ ඔහු අන් මලකට...
නමුදු දකිමින් සියැසට
සියලු මී මැසි සමනලුන්
යන සැටි අලුත් මල් කුමරියට
බිය වුනි පුංචි පිච්ච මල
තරහක්ද මෝදු උනි අලුත් මල හා...
බැලුමට නොහැකි කමින්
අන් මලක් සිප ගන්නායුරු ඔහු
දුකින් බිම බලා ගති පිච්ච කැකුලිය
හීන් පිනි බිඳු ගලා යද්දී
සුමුදු කම්මුල් පෙති මතින්...
මොහොතකින් ඇහෙන්නට ගති
සුපුරුදු හඬක් පියාපත් ගැටෙන
"කෝ මගේ පුංචි සුරඟන"
ඇසුනි ඔහුගේ හඬ
හෙමින් හිස එසවුවත් ඇය
මුරණ්ඩු ව කොණට විණි
ලංවෙන්න ඉඩ නොදෙමින්
"ඇයි මේ?" ඇසුවේය ඔහු දුකින්,
"දැක්කේ නැද්ද අලුත් මල,
ලස්සනයිනේ ගොඩක්?"
ඇය ඇසුවා ය තරහින්,
සිනාසුනි ඔහු මහ හඬින්,
"ඒකද මේ?"
සිපගති ඔහු ඇගේ කඳුළු,
"ඔව්,ඇය බලන්න ලස්සන මලක්,
එත් ලස්සන දෙයක් දැක්කම,
මගේ පුංචි මලමයි
හිතේ ඇඳෙන්නේ ඇසුරු සැනකින්,
ඒ තවත් එක මලක්,
ලස්සනයි ඇහැට, ටික වෙලාවයි,
ඒත් මේ පුංචි මල, වෙනස්වයි දැනෙන්නේ
සත්තයි, ඒ හැඟුම සදාකල්...!"

සිනාසුනි ඇය, දිදුලමින් කම්මුල්,
පුංචි පිනි බිඳු දෙකක්
ගලද්දී කම්මුල් පෙති මතින්
සිහිල් සුළඟක් දැවැටුණි
හිරු ද තවත් බැබළුණා මතකයි...!


No comments:

Post a Comment