පුංචි සන්දියෙදි
මගෙ අතින් අල්ලාන
පන්සල් ගිය හැටි
මතකයි අයියණ්ඩි...
අඹ, දඹ, රඹුටන්,
නෙලාගෙන යහමින්
හොඳ ම ටික දී මට
බලා උන්නා නුඹ සතුටින්...
'මයෙ කොල්ල හැමදාමත් පළවෙනිය පංතියෙ'
ආඩම්බරෙන් කියනව මතකයි අම්මා...
කොලොම්පුරේ සරසවියට
හා හාපුරා කියල නුඹ ගිය දවසෙ
මයෙ ඇස් වලට කඳුලු ආවෙ
අම්මත් ඇඬුව හින්දමත් නෙමෙයි...
නිවාඩුවට නුඹ ගමේ එද්දි
වටේ ම ගැටිස්සියො
බලනව මතකයි නුඹ දිහා...
ගමේ ම ගැටවු එකතු කරාන
ගෙයි පිලිකන්නෙ පංති තියද්දි
හරි හමන් දෙයක් නොතේරුනාට
අහගෙන හිටිය මමත් කන් කොණින්...
මල යස්සයො අරක් ගත්ත
ඒ කරුම මහ රෑ මතකයි අද වගේ...
කට්ට කරුවල හූරගෙන
උලමෙක් කෑ ගැහුව යටි ගිරියෙන්...
'අනේ මයෙ රත්තරං කොල්ලා'
අම්මගෙ අඳෝනාව ගහගෙන ගියා හුලඟට
දැවෙද්දි නුඹ ටයර් සෑයෙ
පපු කැනත්ත පැලුනලු අප්පච්චිගෙ...
මගෙ රත්තරන් අයියණ්ඩි,
නුඹ එදා හීන දැක්ක
කාටත් සම ව සැලකෙන ඒ ලෝකෙ
උදාවෙන ඒ දවසෙ
හීතල පොළවෙ වැළලුව නුඹෙ
හදවත ලඟින් ම
පුංචි රතු මලක් පිපේවි
නුඹේ නමින්....!
~ පොඩි නංගී
so beautiful... really touching and wonderful..
ReplyDeleteBut the real pain which is hiding behind these words are not beautiful that much...
They who experienced it for real in their lives still dying inside.. :( nice poem..